Home / කේෂාලංකාර / කොණ්ඩෙ ඩයි කරනවලු... හැබැයි ප්‍රශ්න ගොඩක්ලු

කොණ්ඩෙ ඩයි කරනවලු... හැබැයි ප්‍රශ්න ගොඩක්ලු

2016-03-25 02:07:00       617
feature-top
අද හිසකෙස් ගැන තියෙන ප්‍රශ්න කොයි තරම්ද? තිලක්ට ඔබ යොමුකර තිබූ ප්‍රශ්න මේ තරම් කියලා කියන්න බැරි තරම්.

 

අකලට හිසකෙස් සුදුවීම ගැන අසා තිබුණ ප්‍රශ්න රැසකට අප පසුගිය සතියේ පිළිතුරු ලබා දුන්නා. කොහොම වුණත් අකලට හිසකෙස් සුදුවීම වළක්වාලන්නට අසීරු දෙයක් බවයි තිලක් පවසන්නේ. නමුත් පෝෂ්‍යදායක ආහාර පාන ගැනීම, කෙස් වැඩීමට උපකාරී වන විටමින් වර්ග ගැනීම එමෙන්ම මෙහිදී වඩාත් වැදගත් වන දෙයක් හැටියට නිවැරැදිව සිදු කෙරෙන හිස සම්බාහනය ආදියෙන් යම්තාක් දුරකට හිසකෙස් සුදුවීම අවම කරගන්නට ඔබට හැකියාව තිබෙනවා.

එසේත් නැතිනම් වඩාත් සුදුසු පියවර වන්නේ වර්ණ ආලේප කිරීමයි. මේ වර්ණ ආලේප කිරීම සහ කොණ්ඩය ඩයි කිරිම බොහෝ දෙනකුට ලොකු ප්‍රශ්නයක් වෙලා. මෙවර ඒ සම්බන්ධව ඔබව දැනුවත් කරන්නට අප සූදානම් වන්නේ එම නිසාමයි.

 ක්‍රම දෙකක් -

මේ වර්ණ ආලේප කිරීමත් ඩයි වර්ග පාවිච්චි කිරීමත් දෙවර්ගයක්. ඩයි වර්ග යනු ඉතා පැරැණි, වතුරෙන් මිශ්‍ර කරන, තැවරූ, විට වැඩි දෙනකුගේ හිසට සහ කොණ්ඩයට ආසාත්මිකතා ඇති කරන දෙයක්. මෙම ඩයිවලින් කොණ්ඩයට ලැබෙන්නේ ස්වාභාවික පාටක් නොවෙයි. කෘත්‍රිම පැහැයක්. නමුත් දැන් නවීන තාක්ෂණය දියුණු වී හිසට හිතකර කොණ්ඩයට හිතකර වර්ණ නිෂ්පාදනය වීමට පටන් ගෙන තිබෙනවා. මෙහිදී ඇමෝනියා නැති දියුණු කළ හිසකෙස් වර්ණ තමන්ගේ හිසකෙස්වල ස්වාභාවික පෙනුමට සරිලන ආකාරයට ලෙහෙසියෙන් ගැල්විය හැකි වර්ණ ලෙස දැන් වෙළෙඳපොළේ තිබෙනවා.

 ඩයි කිරීම භයානක දෙයක්ද?

කොණ්ඩය වර්ණ ගැන්වීම නැත්නම් ඩයි කිරීම භයානක දෙයක් හැටියට වැඩි දෙනෙක් තුළ මතයක් තිබෙනවා. ඇත්තෙන්ම එය මිථ්‍යාවක්. මේ සඳහා වර්ණ තෝරා ගැනීමේදී එය නිවැරැදි උපදෙස් මත හරියාකාරව සිදු කරගන්නේ නම් ඉන් හොඳ ප්‍රතිඵල ලබාගන්නට පුළුවන්. අවුරුදු 35-40 වනවිට ඇස් කණ්ණාඩි භාවිත කරනවා වගේම සුදු හිසකෙස් ඇතිවීම ද ස්වාභාවිකව සිදුවෙයි. මෙය එම වයසට ප්‍රථමයෙන් වුවත් වන්නට පුළුවන්. එම නිසා නිවැරැදි මඟ පෙන්වීමක් යටතේ කොණ්ඩය වර්ණ ගැන්වීම මඟින් හිසකෙස්වලට විය හැකි හානි සහ කෙස් වැටීම ආදිය වළක්වා ගන්නට පුළුවන්.

 වර්ණ ගැන්වීමෙන් හිසකෙස් සුදුවීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙනවාද?

පොදුවේ වැඩි දෙනකුගේ මතය වී තිබෙන්නේ හිසකෙස් වර්ණ ගැන්වීමට පටන් ගත් විට හිසකෙස්වල සුදුවීමේ ප්‍රවණතාවය වැඩිවන බවයි. එයත් මිථ්‍යාවක්. වඩාත් සුදුසුම දේ සහ කළයුතුම දේ වන්නේ නිවැරැදි උපදෙස් මත මෙම ක්‍රියාවලියට යොමුවීමයි.

සුදුසුම දේ පමණක් තෝරාගන්න.

හිසකෙස් වර්ණ ගන්වන ද්‍රව්‍ය වෙළෙඳපොළේ කොතෙකුත් තිබුණත් තමන්ට සුදුසු දේ තෝරා ගැන්මට සැලකිලිමත් වීම ඔබේ සෞඛ්‍ය ආරක්ෂාවටද හිතකර වෙයි. සමහර අයට මෙම වර්ණ ආසාදන වීම ද බහුලව දක්නට හැකි තත්ත්වයක්. එමනිසා වර්ණ තෝරා ගැනීමේදී ඉතා ජනපි‍්‍රය වර්ණ (ඩයි) භාවිතයට වඩා තමන්ට සුදුසු දේ පමණක් තෝරා ගන්න. පහසුවෙන් වතුරෙන් මිශ්‍රකර ගත හැකි බොහෝ ඩයි වර්ග නිසා සමට හා හිසකෙස්වලට හානි ගෙන දිය හැකි අවස්ථා වැඩියි. දැන් ලෝකයේ බොහෝ රටවල පවා මෙය භාවිතයෙන් ඉවත්කර තිබෙන්නේ ද එහි ඇමෝනියා තිබීම මෙන්ම මෙටලික් ඩයි ලෙස නිෂ්පාදනය වීම නිසයි. මෙටලික් ඩයි කෙස්වලට ගැල්වූ පසු එය කෙස්වලට මතු පිටින් තැන්පත් වන නිසා කොණ්ඩය ඇතුළට උරා ගැනීමක් සිදු නොවෙයි. කාලයක් යනවිට කෙස් ගස අවර්ණ වනවාක් මෙන්ම කෙස් ගස් ගිලිහී යාමට තිබෙන ඉඩකඩ ද වැඩි වෙයි. මෙහිදී හිසකෙස්වල ස්වාභාවික පෙනුම ඉවත් වී කෘත්‍රිම බවක් පෙන්නුම් කරයි.

 

කෙස් වර්ණ ගැන්වීමට වඩා සුදුසු කුමක්ද?

මේ සඳහා වඩාත් සුදුසු වන්නේ හිසකෙස් සඳහාම නිෂ්පාදනයකර ඇති කෙස් වර්ණ ගැන්වීම සඳහා නිෂ්පාදිත ක්‍රීම් වර්ණයි. මේවා PPE  වලට අනුකූල ලෙස ඇමෝනියා රහිත සහ ඇමෝනියා සහිත ලෙස වූ වර්ණ වෙළෙඳපොළේ ඇත. බොහෝ සැලෝන්වල ද මෙය භාවිත කෙරෙයි.

 පෙර පරීක්ෂණයක් කළ යුතුමයි

මේවා පාවිච්චියට පෙර මේ පිළිබඳ පෙර පරීක්ෂණයක් සිදු කළ යුතුයි. එය ඉතා වැදගත්. පෙර පරීක්ෂණයකර පැය 48 කට පසුව එහි ප්‍රතිඵල අනුව භාවිත කිරීම සුදුසුයි.

මෙහිදී සේවාදායකයාව පරීක්ෂාකර හිස මුදුනේ ආබාධ නොමැති නම් හිස පිරිසුදු නම් ඔහුට හෝ ඇයට එම පරීක්ෂණය කළ හැකියි. එය සිදු කිරීමේදී සේවාදායකයාගේ කනේ පිටුපස සහ වැලමිට උඩ කොටසේ එම වර්ණය ඒ අයුරින්ම මඳක් ගල්වා විනාඩි 20 ක් පමණ තිබෙන්නට හරින්න. එම කාලය තුළ යම් වෙනසක් ආසාත්මික ලක්ෂණයක් ඇති වේද යන්න ගැන පරීක්ෂාකාරී වන්න. එසේ නොමැති නම් වර්ණ තැවරූ එම ස්ථාන පිරිසුදු වතුරෙන් සෝදා පිසදමා දින දෙකකට පසු නැවත එන ලෙස ඔවුන්ට දන්වන්න. මේ අතරතුර කාලයේදීද කිසියම් ආකාරයක අසාත්මික ලක්ෂණ ඇතිවේද යන්න පරීක්ෂාකාරීව සිටින ලෙස දැනුවත් කරන්න.කිසිදු ගැටලුවක් මෙහිදී මතු නොවුණේ නම් ඇයට වර්ණ ගැන්වීම සිදු කළ හැකියි.

 කොණ්ඩය නිවැරැදිව වර්ණ ගන්වන්නේ කොහොමද?

එහිදී අනුගමනය කරන නිවැරැදි ක්‍රමවේදයන් මොනවාද? මේ ඔබේ ගැටලුව නම් එයට පිළිතුරු ලබන සතියේ බලාපොරොත්තු වන්න.

ඔබටත් ඔබේ හිසකෙස් පිළිබඳ යම් ගැටලුවක් වෙත්නම් එය ප්‍රවීණ ශිල්පී තිලක් ද සිල්වා වෙත යොමුකර පිළිතුරු ලබා ගන්නට පුළුවන්. ඔබේ පැනය 0759403040 අංකයට එස්. එම්. එස් කරන්න.

Wmqgd .ekSu oekqu weiqfrks

More News »