Home / කේෂාලංකාර / අකලට හිසකෙස් ගැලවී යනවාද?

අකලට හිසකෙස් ගැලවී යනවාද?

2016-04-08 01:56:00       650
feature-top
 මේ ප්‍රතිකාරවලින් ගුණයක් ඇත්දැයි බලන්න

කැඳ වර්ග

ගොටුකොළ, මොනරකුඩුම්බිය, ඉරමුසු, මුගුණුවැන්න, කී කිරිදිය, නෙළුම් අල, හාතවාරිය, පොල්පලා, කරපිංචා, ලුණුවිල යන මින් කුමන හෝ ඖෂධයකින් සාදා ගත් කැඳ වර්ගයක් සතියකට දින කිහිහපයක් පානය කිරීම.

හිසෙහි ආලේප කිරීම සඳහා

* දෙහි ගැට, උළුහාල් තම්බා හිස සේදීම

* නික කොළ, පොකුරු වදමල්, නෙල්ලි, වෙනිවැල්ගැට, සැවැන්දරා තැම්බූ වතුරින් හිස සේදීම

* අමු නෙල්ලි දෙහි යුෂ සමඟ මිශ්‍ර කර නෑමට පෙර හිසේ ආලේපය

* වෙරළු කොළ යුෂවලින් හිස සේදීම

* කීකිරිදය, මුගුණුවැන්න, ගොටුකොළ, එළකිරි හෝ ජලය සමඟ අඹරා ආලේපය

* රත්මල් කැකුළු කුඩු කීකිරිදිය හා පොල් කිරි සමඟ මිශ්‍ර කර ආලේපය

* කෝමාරිකා මදය බිත්තර කහ මදය සමඟ මිශ්‍රකර ආලේපය

* දුම්මැල්ල කොළ ඇල්දියෙන් අඹරා ගෑම.

* නිල්අවරිය කොළ කොටා මිරිකා ගත් යුෂ ආලේපය

* පොකුරු වද මල් ජලය සමඟ අඹරා ආලේපය

* අරළු, තිප්පිලි අවරිය කොළ, සහල් කැද සමඟ අඹරා ආලේපය

* දෙහි කොළ යුෂ, දෙහි යුෂ, පොල් කිරි, හිරු එළියෙන් රත් කර ආලේපය

* තල තෙල් හෝ පොල් තෙල්වලට නෙල්ලි කුඩු දමා සිඳ ගත් තෙල් ආලේපය

* කරපිංචා කොළ දමා රත්කර ගත් පොල්තෙල් ආලේපය

* නික කොළ යුෂ තල තෙලට දමා සිඳගත් තෙල් ආලේපය

* කීකිරිදිය කොළ යුෂ තල තෙලට මා සිඳගත් තෙල් ආලේපය

* ගම්මාලු කිරි තල තෙලට දමා සිදගත් තෙල ආලේපය

මෙම ඖෂධ හිසේ ආලේප කර පැය 2 -3 පසු ස්නානය කළ යුතුය.

හිසට දැමිය හැකි තෙල්

පොල්තෙල්, තැඹිලි තෙල්, තල තෙල්, දශවන ප්‍රමේහ තෙල්, බ්‍රාහ්මී තෙල්, භෘංගාමලක තෙල්, මයුර කාන්ති තෙල්, කේශ වර්ධනී තෙල්, නීල්්‍යාදි තෙල්, අරූද තෙල්

අකලට හිසකෙස් යාමට හා පැසීමට ඉහත තෙල් වර්ග නිර්දේශ කළ හැකි නමුත් පීනස වැනි රෝගී තත්ත්වයන් ගැනද සැලකිලිමත් විය යුතුය.

දිගු නිරෝගි කෙස් කලඹකට

* නෙල්ලි තැම්බූ වතුර පානය කිරීම

* ඉරිවේරිය තැම්බූ වතුර පානය කිරීම

* බුළු කුඩු උක් හකුරු සමඟ මිශ්‍ර කර තේ හැන්දක ප්‍රමාණය උදෑසන කෑම

* රසකිද යුෂ හිසෙහි ආලේපය

* සැවැන්දරා තැම්බූ ජලයෙන් හිස සේදීම

* තිබ්බටු, කීකිරිදිය ව්‍යංජන වශයෙන් භාවිතය

හිසකෙස් ඩයි කිරීම හොඳද? නරකද?

කාන්තා පුරුෂ භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට වයසත් සමඟ හිසකෙස්වල මුල් පැහැය වෙනස් විමට පුළුවන. මෙසේ වෙනස්වීම් අතර ප්‍රධාන තැනක් ගන්නේ හිසකෙස් සුදු වීමය. යම් කෙනෙකුගේ හිසකෙස් සුදු වූ විට ඔවුන් කරනු ලබන්නේ ඩයි කිරීමය. හිසකෙස් ඩයි කිරීම අද සාමාන්‍ය දෙයක් වුත් එය නොදැන කිරීම ප්‍රශ්න රාශියක් ඇති කිරීමට මුල පුරයි. සමහරවිට මෙය ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට තර්ජනයක් වීමට ද පුළුවන.

අද වෙළඳපොළේ විවිධ වර්ගයේ ඩයි වර්ග ඇත. ඕනෑම ඩයි වර්ගයක් ගැල්වීමට තෝරා ගත හැකි මුත්, ප්‍රථමයෙන් එය හිසට ගැලපේ ද යන්න සොයා බැලිය යුතුය. මේ සඳහා තෝරා ගන්නා ඩයි වර්ගයෙන් සුළු ප්‍රමාණයක් කනේ පිටුපස, වැලමිට අසල ගල්වා පැය 24ක් තබන්න. මේ පැය 24 ඇතුළත අසාත්මිකතාවක් ඇත්නම් එය ගැල්වීම නුසුදුසුය.

හිසකෙස් කළු කිරිමට වෙළෙඳපොළේ ඇති ඩයි වර්ග වලින් බොහෝදෙනා තෝරා ගන්නේ ස්ථීර ඩයි වර්ගය. ස්ථිර ඩයි වල ppd නැතහොත් paraphenylene diamine  නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගුය. මෙය ඉතාමත් ජනපි‍්‍රය නමුත් මෙයින් අතුරු ආබාධ ඇතිවිය හැකිය. ස්ථීර ඩයි වර්ග භාවිතා කරන විට අත්ල, මැණික් කටුව, අතේ පහළ කොටස, ඇහිබැම වටා හා නාසය වටා යන ස්ථාන වල අසාත්මිකතා ඇති වේ.

ස්ථීර ඩයි වර්ග භාවිතා කළ නොහැකි අයට වෙළඳපොළේ පවතින තාවකාලික ඩයි වර්ග භාවිතා කළ හැක. මෙම ඩයි වර්ග නිසාද අසාත්මිකතා ඇතිවිය හැක. ඩයි වර්ගයක් අසාත්මික වූ විට මූලිකවම කැසීම හට ගනී. නියපොතුවලින් කැසීම නිසා ඇතිවන තුවාලවලින් හිසට විෂබීජ ඇතුලු විය හැක.

අසාත්මිකතාවයක් ඇති වුවහොත් ඉක්මනින්ම හිස සේදීම කළ යුතු අතර වෛද්‍ය උපදෙස් ද ලබා ගත යුතුය. මුලින්ම ඩයි වර්ගයක් භාවිතා කරන විට අසාත්මිකතා ඇති නොවුණත් දිගින් දිගටම ඩයි වර්ග භාවිතා කිරීමෙන් අසාත්මිකතා ඇති විය හැක.

ඩයි වර්ග භාවිතයෙන් හිසට සිදුවන හානි

* හිසකෙස් ගැලවීමේ වේගය වැඩි වේ

* හිසකෙස් වල මූලය දිරයි

* හිසකෙස් අග පැලීම හා වේලීම සිදුවේ

* ඩයි කිරීමෙන් පසු ෂැම්පු භාවිතය නිසා හිසකෙස් දුඹුරු පැහැයට හැරේ

* මුහුණ අවපාට වේ

ඩයි වර්ග කෙලෙස භාවිතා කළද එමඟින් හිසට හානි සිදු වේ. එම නිසා සොබා දහමේ විශිෂ්ඨ දායාදයක් වන ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ භාවිතා වන ශාකසාර භාවිතයෙන් අතුරු ආබාධවලින් තොරව හිසකෙස් කළුකර ගත හැකි වේ.

දරුවන්ගේ හිසකෙස් රැකගන්නා හැටි

ලොව උතුම්ම සම්පත වන දරු සම්පත මෙලොවට දායාද කිරීමට බලාපොරොත්තු වන සෑම ගර්භනී මවක්ම තම දරුවාට නිරෝගීමත් කෙස් කළඹක් උරුමකර දීමට පෝෂ්‍යදායී ආහාර ගැනීම අත්‍යවශ්‍ය වේ. එවිට දරුවන්ගේ හිසකෙස් සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගත හැකිය. නමුදු අඩු වයසින් දරුවන් බිහිවන අවස්ථාවේදී කෙස් බොහෝ සෙයින් අඩු වේ. සමහර දරුවන් ඉපදී මාස 5 -6 යන තෙක් කෙස් වර්ධනය අඩුය. එය සාමාන්‍ය දෙයකි. දරුවන් නියමිත කාලවකවානුවේදී උපත ලබා ඇත්නම් බිය වීමද අනවශ්‍ය කරුණකි.

අවුරුදු 5ට අඩු කුඩා දරුවන්ගේ මන්දපෝෂණය හඳුනා ගැනීමට හැකි එක් ලක්ෂණයක් ලෙස කෙස් අඩුවීම සහ කෙස්වල වර්ණය අඩුවීම දැක්විය හැකිය. මේ නිසා ළමා කාලයේදී ලබාගත් පෝෂ්‍යදායි සමබල ආහාර වැඩිහිටි කාලයේදී හිසකෙස් වල වර්ණය සහ ස්වභාවය ආරක්ෂා කිරීමට බලපානු ලබයි.

ආහාර

විටමින් බී, ප්‍රෝටීන, ඛනිජ ලබන, තුත්තනාගම්, යකඩ, සංකීර්ණ හා මේදය අන්තර් ගත සමබල ආහාර වේලක් ගැනීම සුදුසුය. කිරි සහ කිරි වලින් සැකසූ යෝගට් කෙස් වර්ධනයට හිතකර වේ. තවද තිරිඟු, ඉරිඟු, බාර්ලි, කව්පි, රටකජු, තල, ආමන්ඩ් වැනි ආහාර වර්ග කෙස්වල ආරක්ෂාවට වඩා යෝග්‍ය වේ.

බීම වර්ග

කෘත්‍රිම රස කාරක, වර්ණ කාරක යෙදූ බීම වර්ග කෙස්වල වර්ධනයට බාධා ඇති කරන හෙයින් ඒවායින් වැළකී සිටීම වඩා යෝග්‍යයයි. කෙස්වල වර්ධනය සඳහා පිරිසුදු ජලය පානය කිරීම සුදුසුය. හොඳින් ජලය පානය කරන විට ශරීරයේ ඇති අපවිත්‍ර දෑ මුත්‍රා හා දහඩිය සමඟ පිට වේ. එවිට කෙස් වලට බාධාවකින් තොරව වර්ධනයට විය හැකිය.

තෙල්

කුඩා දරුවන්ට සුදුසුම තෙල් වර්ගය වන්නේ නිවසේදීම සිඳගත් පොල් තෙල්ය. සමහර ගම්වල වැසියෝ බටුතෙල්ද ආලේප කරති. ඇතැම් අය මෙම තෙල් වර්ගයන්ට කරපිංචා සුදුළූණු දමා තෙම්පරාදු කර හිසට දමති.

හිස්සොරි

කාන්තාවනට දිදුලන නිරෝගී මොනර පිලක් වැනි කෙස් කලඹක් තිබුණත් හිස්සොරි වලින් ඇති වන්නේ අවලස්සනකි. හිස්සොරි ලෙස හඳුන්වන්නේ එග්සීමා හෙවත් රක්තයා තත්තවයෙයි. සාමාන්‍යයෙන් සමේ ඇතිවන එග්සීමා වලට වඩා හිස් කබලේ ඇතිවන මෙම තත්ත්වය වෙනස් වේ. හිස කබල මත ඇතිවන හිස්සොරි මුල් අවස්ථාව්දීම දැකගත හැකි වන්නේ හිසෙහි සම ගැලවී යන අයුරිනි. නමුත් මෙම රෝග තත්ත්වය තිව්‍ර වන විට එම සම රතු පැහැවීම, කුඩා බිබිලි ඇතිවීම දක්වා වර්ධනය විය හැකියි.

හිස්සොරි හෙවත් එග්සීමා ඇතිවන්නේ ශරීරයේ දහඩිය දමන තැන් ආශි‍්‍රතවයි. එනම් හිස ඉකිලි, කිහිලි, පපුව, පිට වැනි තැන්වලටය. හිස්සොරි මුල් අවස්ථාවේ පවතින විට පොතු ආකාරයට ගැලවී යන මුත් එය ක්‍රමයෙන් උග්‍ර තත්ත්වයට ද පත්විය හැක. ශරීරයේ එක් ප්‍රදේශයක හට ගන්නා හිස්සොරි සාමාන්‍යයෙන් තවත් ප්‍රදේශවලට ද පැතිර යයි.

පවුලේ එක් අයෙකුට හිස්සොරි තිබෙන විට ඔහු පාවිච්චි කරන තුවාය, කොට්ට උර, ඇඳ ඇතිරිලි, පනාව මඟින් මෙය තවත් කෙනෙකුට බෝවිය හැකි යැයි බොහෝදෙනෙකු සිතන නමුත් හිස්සොරි හෙවත් එග්සීමා තත්ත්වය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ නොවන රෝගී තත්ත්වයකි.

හිස්සොරි සඳහා ප්‍රතිකාර

* දෙහි ගැට, උළුහාල් තම්බා හිස සේදීම

* ගොඩපර ගෙඩි කොටා එම යුෂ අලේපය

* වෙරළු කොළ කොටා යුෂ ආලේපය

* උළුහාල් මේස හැදි 5ක් පමණ රැයක් වතුරේ පෙඟෙන්නට තබා පසුදින එය අඹරා හිසෙහි ආලේප කර පැය භාගයකට පමණ පසු ස්නානය

* මුං ඇට පිටි මුදවපු කිරි සමඟ මිශ්‍ර කර ආලේප කර පැයකින් පසු සෝදා හරින්න.

* බිත්තර කහ මදය දෙහි යුෂ සමඟ මිශ්‍ර කර නෑමට පෙර අලේපය

* පිරිසුදු විනාකිරි දෙහි යුෂ සමඟ මිශ්‍ර කර නෑමට පෙර ආලේපය

* නෙල්ලි තම්බා එම වතුරින් හිස සේදීම

* සැවැන්දරා තම්බා එම වතුරින් හිස සේදීම


Wmqgd .ekSu kK mqj;a m; weiqfrks

More News »