Home / කේෂාලංකාර / දුටු පමණින් ෂැම්පු භාවිතය හිසට ගුණ නෑ

දුටු පමණින් ෂැම්පු භාවිතය හිසට ගුණ නෑ

2017-12-12 11:05:00       269
feature-top
අපි හැම කෙනෙක්ම වගේ හිසකෙස් පිරිසුදු කරගන්න පාවිච්චි කරන්නේ ෂැම්පු. නමුත් තමන් පාවිච්චි කරන ෂැම්පු එක හරියට තෝර ගන්න,
 
නිවැරැදිව භාවිත කරන්න සැලකිලිමත් නොවන නිසා හිිසකෙස් ආශ්‍රිතව ඇතිවන ගැටලු කෙළවරක් නෑ.

සමහරුන් හිතන්නේ හිසකෙස් සෝදන්න මොකක් හරි ෂැම්පු එකක් පාවිච්චි කළොත් හරි කියලා. තවත් සමහරුන් තමන්ට ලැබෙන එහෙමත් නැත්නම් තමන්ගේ අතට හසුවෙන ෂැම්පු එකක් කිසිම විමසීමකින් තොරව පාවිච්චි කරන්නට පෙළඹෙන අවස්ථා නැතුවා නොවෙයි. ඔබ සිතන්නේ ආලේපන පාවිච්චියේදී ඔබ මේ ආකාරයෙන් කටයුතු කරන එක හරි කියල ද? නොගැළපෙන ආලේපන භාවිතය හිසකෙස් ගැටලු බොහෝමයකට හේතු වන බව ඔබ දන්නවාද?

මෙන්න මේ වගේ ගැටලු නිසා තමයි රූපලාවණ්‍ය ආලේපන හැටියට ඔබ පාවිච්චි කරන දේවල් නිවැරැදිව තෝරා ගත යුත්තේ. කොහොමද පාවිච්චි කිරීමේදී අනුගමනය කළ යුතු නිවැරැදි ක්‍රමවේදය කුමක් ද කියන එක ගැන අප මෙවන් දැනුවත් බවක් ඔබට ලබා දෙන්නේ.

අප අද කතා කරන්නේ ඔබ භාවිත කරන ෂැම්පු එක ගැන. බලන්න ඔබ ෂැම්පු පාවිච්චි කරන ආකාරය නිවැරැදිදැයි කියා.

මෙහිදී ඔබට කිවයුත්තේ ඔබ ෂැම්පු එකක් තෝරා ගැනීමේදී එය ඔබේ හිසකෙස්වල ස්වභාවය දැන ඒ අනුව තෝරා ගත යුතු බවයි. එහි අඩංගු වී තිබෙන දේවල් මොනවාද? යන්න ගැන සැලකිලිමත් වන්න.

කොණ්ඩේ යාමට - ඉස්හොරිවලට, අකලට හිසකෙස් හැලෙනවට, වියළි හිසකෙස් සඳහා, තෙල් සහිත හිසකෙස් සඳහා, ව්‍යුහය වෙනස් වූ හිසකෙස් සඳහා (ඩැමේජ් හෙයා) යනාදී වශයෙන් වන ෂැම්පු වර්ග තිබෙනවා. එමෙන්ම මෙය නිෂ්පාදනය කිරීමේදී ගුණාත්මක බවින් යුතු ශාකසාර අඩංගු ෂැම්පු වර්ග ද දක්නට පුළුවන්. එම නිසා තමන්ගේ අවශ්‍යතාවය අනුව හිසකෙස්වලට ගැළපෙන ෂැම්පු එක තෝරා ගත යුතුයි. මෙහිදී ඔබ සැලකිලිමත් විය යුතු වැදගත් දේ වන්නේ තමන්ගේ අවශ්‍යතාවය නැතුව දුටු පමණින් ෂැම්පු ගැනීම නුසුදුසු බවයි.

ෂැම්පු එකක් නිවැරැදිව භාවිතා කළ යුත්තේ කෙසේද?

සාමාන්‍යයෙන් දිනපතා හිසකෙස් පිරිසුදු කිරීම සුදුසු නැති බවට සමහරුන් අතර මතයක් තිබෙනවා. නමුත් තමන්ගේ හිසකෙස්වල ස්වභාවය වටහා ගැනීමෙන් පසු සැර නැති ෂැම්පු එකක් දිනපතා වුවත් භාවිත කරන්නට පුළුවන්. සැර ෂැම්පු වර්ගයක් නම් දිනපතා භාවිත කිරීම සුදුසු නෑ.

ඒ වගේම ෂැම්පු කිරීමේදී ෂැම්පු එක කෙළින් හිසට ඇල කිරීම හෝ එහෙමත් නැත්නම් එක්වරම හිසට වැඩි ෂැම්පු ප්‍රමාණයක් දැමීම ද සුදුසු දෙයක් නොවෙයි.

මෙහිදී කළ යුත්තේ කොණ්ඩය තෙත්කර අල්ලට ෂැම්පු ටිකක් ගෙන එය වතුර මඳ ප්‍රමාණයක් හා මුසුකොට පෙණ ගන්වා හිසෙහි ගල්වා හොඳින් පිරිමැද සෝදා හැරීමයි.

සමහරුන් එක් වරක් ෂැම්පු යොදා සෝදා නැවත ෂැම්පු යොදන අවස්ථා තිබෙයි.

ඒ ආකාරයෙන් දෙතුන් වරක් ෂැම්පු යෙදීම නොකළ යුතුයි. ඉන් සිදුු වන්නේ පමණට වඩා හිස සේදීමක් කිරීමයි. එසේ කිරීමෙන් එහි එන බලපෑම නිසා කොණ්ඩය වියළි තත්ත්වයක් ඇති වී නොයෙකුත් ආකාරයෙන් හිසකෙස්වලට හානි සිදු විය හැකියි.

තවත් සමහරුන් ෂැම්පු යෙදූ පසු හිසකෙස්වලින් නැඟෙන ෂැම්පු සුවඳට වැඩි කැමැත්තක් දක්වනවා.

නමුත් එසේ හිසකෙස්වල ෂැම්පු එකෙහි සුවඳ රැඳීමට හේතුව ෂැම්පු නිසි පරිදි හිසෙන් සෝදා ඉවත් කර නොතිබීමයි. මෙය හොඳ දෙයක් නෙවෙයි. එසේ ෂැම්පු හොඳින් සෝදා ඉවත් නොකිරීමෙන් සිදුවෙන අහිතකර බලපෑම නිසා හිස්කබල හිසකෙස් වියළි තත්ත්වයට පත් වී ඉස්හොරි ආදිය ඇතිවන්නට පුළුවන්. එම නිසා හිස ෂැම්පු කළ පසු එය හොඳින් හිසෙන් ඉවත් වී යන ආකාරයට සෝදා හරින්න.

තවත් සිදු නොවිය යුතු වැරැද්දක් නම් එකම ෂැම්පු එක නිවෙසේ සියලු දෙනා භාවිත කිරීමයි.

උදා - ගෙදර කීප දෙනෙක් සිටියොත් ඒ අතර වියළි හිසකේ ඇති අයෙක් නැත්නම් තෙල් සහිත හිසකෙස් තිබෙන අයෙක් සිටින්නට පුළුවන්. සමහර විට ඩයි පාවිච්චි කරන අයෙක් සිටිය හැකියි. එවිට මේ සියලු දෙනාම එකම ෂැම්පු එකක් භාවිත කිරීම සුදුසු ක්‍රියාවක් නොවෙයි. උදා - තෙල් සහිත කෙස් කළඹකට සැකසුණු ෂැම්පු එකක් වියළි හිසකෙස් තියෙන අයෙක් පාවිච්චි කළොත් වඩාත් වැඩි වේගයකින් හිස කෙස් වියළි තත්ත්වයට පත්වීමට ඉඩ තිබෙයි. ඉන් පසුව හිසකෙස් දුර්වර්ණ නම් අගිස් පිපිරී හිසකෙස් තුනී වී කැඩී හිසකෙස් ගැල වී යන්නට පටන් ගැනෙයි.

හිිසකෙස් ඩයි කරන කෙනා එය පාවිච්චි කළහොත් ඉක්මනින් තැවරූ ඩයි හිසකෙස්වලින් ඉවත් වී වර්ණය වෙනස්වීමට පුළුවන්. එමෙන්ම හිසකෙස් දුර්වර්ණ වි තුනීවීමට ඉඩ තිබෙයි. තමන්ට ගැළපෙන ෂැම්පු එක පමණක් පාවිච්චි කිරිමට සැලකිලිමත් විය යුත්තේ එම නිසයි. කෘත්‍රිම ෂැම්පු වර්ග භාවිතයට අකමැති අයට හිස කෙස්වල නිරෝගී බව රැක ගනිමින් හිසකෙස් පිරිසුදු කිරීමට යොදා ගත හැකි ස්වාභාවික ෂැම්පු එකක් මේ.

වියළි නෙල්ලි මිටක් ගෙන එය වතුර අඬු කෝප්ප දෙකකට දමා පැයක් පෙඟෙන්නට තබා උදේට එය තම්බා ගන්න. එවිට කෂාය වැනි දියරක් ලැබෙයි.

එයට සියක්කා (සියක්කා යනු ඉතා හොඳ සේදුම් කාරකයක්) තේ හැඳි කාලක් පමණ දමා එම මිශ්‍රණයෙන් හිස හොඳින් සෝදන්න. එම ඖෂධීය දියෙන් හිස සේදීමෙන් ඉස්්හොරි සුව වන අතරම හිසකෙස්වල මනා කළු පැහැයක් ගෙන දෙයි.

හිසකෙස් ඉතා වියළි නම් එම මිශ්‍රණයට පොල් තෙල් හෝ ඔලිව් ඔයිල් හෝ බිංදු කීපයක් කළවම් කරගත හැකියි. නැත්නම් මිටිකිරි බින්දු කීපයක් කලවම් කරගන්න.

මෙය හිසට දමා හොඳින් හිස අතුල්ලා සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න. අප ඉහත කී ආකාරයෙන් ෂෑම්පු භාවිතයේදී සැලකිලිමත් වනවා නම් නොදැනුවත්කම නිසා ඉන් ඇති විය හැකි ගැටලු බොහෝ දුරට අවමකර ගන්නට හැකි වේවි. 


curtesy :tharunie.lk


More News »