Home / කේෂාලංකාර / ෂැම්පු කළොත් කන්ඩිෂනර් කරන්නම ඕනෙ

ෂැම්පු කළොත් කන්ඩිෂනර් කරන්නම ඕනෙ

2018-01-02 01:52:00       270
feature-top
සමට භාවිත කරන ආලේපන වගේම හිසකෙස් සඳහා ද යොදා ගැනෙන ආලේපන වර්ග තිබෙනවා. ආලේපන භාවිතය ගැන කතා කරද්දී හිසකෙස් හොඳින් පිරිසුදු කරන්නට, නිරෝගිමත් කරන්නට භාවිත කළ හැකි ආලේපන සහ එය නිවැරැදිව භාවිත කළ යුත්තේ කෙසේද යන්න ගැනත් දැනුවත් වීම වැදගත්.
 
ඔබට මතක ඇති අප මීට කලින් සතියේ හිසකෙස් පිරිසුදු කිරීමට යොදා ගැනෙන ෂැම්පු භාවිතය ගැන කතා කළ බව. ෂැම්පු භාවිතයෙන් පසු හිසකෙස් කන්ඩිෂනර් කළ යුතු බවත් ඔබ දන්නවා. නමුත් හිසකෙස්වලට කන්ඩිෂනර් යෙදිය යුත්තේ ඇයි? මෙය ක්‍රියාකාරීවන්නේ කුමන ආකාරයෙන් ද ? නිවැරැදිව පාවිච්චි කළයුත්තේ කොහොමද? යන්න ගැන නොදන්න අය බොහොමයි.

මෙහිදී ඔබට විශේෂයෙන් කිවයුතු වන්නේ ඔබ කිසියම් ආලේපනයක් භාවිත කරනවානම් ඒ ගැන දැනුවත් වීම වැදගත් බව. කන්ඩිෂනර් අපේ හිසකෙස්වලට අවශ්‍යවන්නේ ඇයි ද ? යන්න ගැන අද විමසා බලමු.

හිසකෙස් ෂැම්පු කිරීමෙන් පසුව අනිවාර්යයෙන්ම කන්ඩිෂනර් කරන්නට ඕන. මේ අප නිතර කියන දෙයක්. ඇයි අප කන්ඩිෂනර් එකක් භාවිත කළයුතුවන්නේ. හිසකෙස්වලට ඉන් ලැබෙන්නේ කුමන ආකාරයේ බලපෑමක් ද ?

කන්ඩිෂනර් එකක් පාවිච්චි කිරීමට හැකිවන්නේ හිසකෙස් ෂැම්පු කිරීමෙන් පසුවයි. එසේ නොමැතිව කන්ඩිෂනර් භාවිත කළ නොහැකියි. හිසකෙස් ෂැම්පු කිරීමේ දී කෙස්ගස්වලට පිටින් තිබෙන කියුටිකල් එක නැත්නම් කොරපොතු ස්වභාවය විවෘත වීමකට ලක්වෙනවා. එය නැවත යථාතත්ත්වයට පත්කරන්නට නම් කන්ඩිෂනර් අවශ්‍ය වෙනවා.

කන්ඩිෂනර් වර්ග ගැන කතා කළොත් කන්ඩිෂනර් වර්ග දෙකක් තිබෙනවා. ඉන් එකක්නම් කෙස්ගස්වල ආලේප කර ඇඟිලි තුඩුවලින් හෝ දැති ලොකු පනාවකින් හරි පීරන්න පුළුවන්. ඉන්පසුව සාමාන්‍ය වතුරෙන් සෝදා ඉවත් කළ හැකියි.

අනෙක් කන්ඩිෂනර් එකනම් ලීවෝන් ස්ටේඕන් වශයෙන් හඳුන්වන කන්ඩිෂනර් එකයි. එම කන්ඩිෂනර් වර්ගය යෙදූ පසු හිසකෙස්වල තිබෙන්නට හැරීම කළ හැකියි. මෙවන් දේ තෝරාගන්නා විට එවන් දේ ගැන සැලකිලිමත්ව තෝරාගැනීමයි වඩාත් වැදගත් වන්නේ. උදා:- සීමීඩ් ජෙල් කන්ඩිෂනර් එකක් භාවිත කරන විට වුවත් එම නිෂ්පාදනය අඩංගු ඇසුරුමේ දක්වා ඇති උපදෙස් පිළිපදින්නට ඕන.

කන්ඩිෂනර් වර්ග ගතහොත් විවිධ ආකාරයේ හිසකෙස්වලට නිෂ්පාදනය කර ඇති කන්ඩිෂනර් තිබෙනවා. එනම් නරක් වී ඇති හොඳ තත්ත්වයේ නැති හිසකෙස් නැවත යථා තත්ත්වයට පත්කරලන්න කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් කරනවා. ඒ නිතර රසායනික ද්‍රව්‍ය භාවිතා කරන අය, හිසකෙස් කලර් කර ඇති අය, රීබොන්ඩින්කර තිබෙන අය, පර්ම්කර ඇති අය යන නිතර පිහිනන අය සඳහාම වන කන්ඩිෂනර් තිබෙනවා.

එවගේම හිසකෙස් වඩාත් වියළි බවක් ඇති, දුර්වර්ණ වී ගිය, අගිස් පැලී ඇති හිසකෙස් වෙත්නම් එයට සත්කාරයක් වශයෙන් කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එකක් කරන්න පුළුවන්. මෙවන් හිසකෙස්වලට කන්ඩිෂනර් පැක් යෙදීමද කළ හැකියි. කෙමිකල් භාවිතා කර හිසකෙස් විලාසිතා කර ඇති අයට එවන් විලාසිතාවක් කර දින තුනකට පමණ පසුව කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එකක් කිරීම වඩාත් සුදුසුයි.

කන්ඩිෂනර් භාවිතා කරනවිට පළමුව හිසකෙස් ෂැම්පුකර ඉන්පසුව කන්ඩිෂනර් අවශ්‍ය ප්‍රමාණයට අත්ලට ගෙන හිස් කබලේ නොගැටෙන ආකාරයට හිසකෙස්වල පමණක් ගල්වා දැති ලොකු පනාවකින් පීරන්න. නැත්නම් ඇඟිලි හිසකෙස් අතරට යවා හිසකෙස් පීරන ආකාරයට පිරිමදින්න. ඉන්පසු සෝදා හරින්න.

නිවසේදී සාදාගත හැකි කන්ඩිෂනර් එකක්

හිසකෙස්වලට කන්ඩිෂනර් එකක් වශයෙන් නිවෙසේදීම සකසාගත හැකි ආලේපන කිහිපයක් පිළිබඳව දැන් විමසා බලමු.

කිරි හෝ යෝගට් ගෙන එයට බිත්තරයක් කඩා දමා පේස්ට් එකක් ලෙස සකසා හිස් කබලේ සහ හිසකෙස්වල මුල සිට අග දක්වා ආලේප කර දැති ලොකු පනාවකින් පීරන්න. ඉන්පසු සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න.

ඔලිව් තෙල් තේ හැඳි එකක් ගෙන එයට බිත්තර කහමද දෙකක් පිටිකිරි ටිකක් මිශ්‍ර තේ කරන්න. මෙයට වදමල් මිරිකාගත් යුෂ තේ හැඳි දෙකක් එක්කර ගන්න.

මෙසේ සකසාගත් මිශ්‍රණය හිස්කබලේ සහ හිසකෙස්වල තවරා දැති ලොකු පනාවකින් පීරා ඉන්පසු හර්බල් ෂැම්පු එකකින් හිස සෝදා හරින්න.

curtesy : tharunie.lk


More News »