Home / කේෂාලංකාර / කොණ්ඩා මෝස්‌තර දැමීමට අවශ්‍ය වන උපකරණ

කොණ්ඩා මෝස්‌තර දැමීමට අවශ්‍ය වන උපකරණ

2018-03-08 12:03:00       351
feature-top
දැති ලොකු පනාව
මෙහි දැති පිහිටා ඇත්තේ එකිනෙකට දුරස්වය. මේ දුරස් වූ දැති වල ප්‍රයෝජනය වන්නේ ඕනෑම ස්වභාවයක කෙස් කළඹක ඇති ගැට සහ අවුල් පහසුවෙන් හැර ගැනීමට ලැබීමයි. විශේෂයෙන්ම මේ පනා වර්ගය මඟින් බොකුටු නොහොත් රැලි කෙස් වල ගැට ඉවත් කිරීම ඉතා පහසුය.

බැක් කොම්බ් කළ පසු සහ ශිර්ෂ සම්බාහනෙන් පසු කොණ්ඩයේ ඇති වන අවුල් ඉවත් කර කොණ්ඩය නැවත සකස් කර ගැනීමටත් දැති ලොකු පනාව උපකාරී වේ.

මෙම පනා වර්ගයේ මිට අනෙක් පනා වලට සාපේක්ෂව විශාලය.

දැති පළල් බුරුසුව
දැති පළල් බුරුසු වලින් කොණ්ඩය පීරීමේදී, දැති සිහින් බුරුසු වලින් මෙන් කෙස් ගස් ගැලවෙන්නේ නැහැ. දැති පළල බුරුසුවේ දැති අග රවුම් විය යුතුයි.

කොණ්ඩා මෝස්‌තර සැකසීමට අමතරව මේ බුරුසු වර්ගයේ තවත් ප්‍රයෝජන තියෙනවා. දැති පළල් බුරුසුවකින් නිතර හිස පීරීම මඟින් හිස් කබලේ රුධිර සංසරණය ප්‍රාණවත් වෙනවා. ඒ මඟින් හිස්සොරි, හිස කෙස් ගැලවී යාම, හිස කෙස් දුර්වර්ණ වීම සහ පළුදු වීම වැනි රෝගී තත්වයන්ගෙන් මිදෙන්න හැකියාව ලැබෙනවා.

ටේල් කෝම්බ්
ටේල් කෝම්බ් එකේ මිට දිගය. මෙහි දැති වල ඇති ප්‍රයෝජනය කොණ්ඩය බැක් කොම්බ් කිරීමට හැකි වීමයි. මේ පනාවේ මිට, නැතහොත් ටේල් එකෙන් ඇති ප්‍රයෝජන වන්නේ බැක් කෝම්බ් කළ කොණ්ඩය උඩට ඉස්සීමත්, කොණ්ඩා මෝස්‌තර දැමීමේදී කොණ්ඩා කොටස් වෙන් කර ගැනීමත්ය.

ඇෆ්රෝ කෝම්බ්
මෙම පනා නිපදවා ඇත්තේ බොකුටු කෙස් පීරා ගැනීම වෙනුවෙනි. බොකුටු කොණ්ඩයකට කොණ්ඩා මෝස්‌තර දැමීමට පෙර, කොණ්ඩය මඳක් තෙත් කර ඇෆ්රෝ කෝම්බ් එකක් මඟින් පීරීමෙන් හිස කෙස් ගැලවී යාම අඩු කර ගත හැක.

එමෙන්ම ස්ට්‍රේට් හෝ පර්ම් කළ කොණ්ඩා සඳහාද මෙම පනාව වැදගත් වේ. පර්ම් කළ කොණ්ඩය නොකැඩී පීරා ගැනීමටත්, ස්ට්‍රේට් කළ කොණ්ඩයේ හැඩය වෙනස් නොකර පීරා ගැනීමටත් ඇෆ්රෝ කෝම්බ් එක සුදුසු වේ.

රෝලර් බ්‍රෂ්/හාෆ් රෝලර් බ්‍රෂ්
රෝලර් බ්‍රෂ් මඟින් කෙස් කළඹ කිහිප වරක් පීරා ගැනීමෙන් හිස කෙස් වල ඇලුණු ගතිය අඩු වී, කෙස් කළඹ සැහැල්ලු වේ. ඉන් පසු අවශ්‍ය කොණ්ඩා මෝස්තරය දමා ගැනීම පහසු වේ. එමෙන්ම සැහැල්ලු බව නිසා කොණ්ඩා මෝස්තරය වැඩි වෙලාවක් රඳවා ගැනීමටද හැකි වේ.

නමුත් මෙම රෝලර් බ්‍රෂ් වලින් බොකුටු කෙස් පීරීම සුදුසු නොවන්නේ, එමඟින් කෙස් කැඩී යාමට ඇති ඉඩ වැඩි නිසාය.

හෙයාර් පින්ස්
හෙයාර් පින්ස් ඉතා කුඩාය. කොණ්ඩයේ සියුම් විලාසිතා කිරීමට හෙයාර් පින්ස් උපකාරී වේ. කොණ්ඩයේ ඉදිරිපස කරන විලාසිතා සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ඉන්විසිබල් හෙයාර් පින් වේ.

හෙයාර් ක්ලිප්ස්
කොණ්ඩා විලාසිතා සැකසීමේදී අවශ්‍ය වන කොණ්ඩා කටු වර්ග දෙකකි. ඒ කුඩා ක්‍රේල් කටු සහ ලොකු ක්‍රේල් කටුය.

සෙක්ෂන් ක්ලිප්ස්
කොණ්ඩා මෝස්‌තර සැකසීමේදී බොහෝ විට කොණ්ඩය කොටස් වලට වෙන් කර ගැනීමට සිදු වේ. සෙක්ෂන් ක්ලිප්ස් යොදා ගන්නේ මේ කාර්යය වෙනුවෙනි.

ස්ප්‍රේ බෝතලය
කොණ්ඩය කැපීමේදී සහ මෝස්‌තර සැකසීමේදී ඇතැම් විට කොණ්ඩය තෙත් කර ගැනීමට අවශ්‍ය වේ. ඒ සඳහා ස්ප්‍රේ බෝතලය භාවිතා කරනවා.

හෙයාර් ඩ්‍රයර්
මෝස්‌තර සැකසීමේදී හිස කෙස් වියලා ගැනීමටත්, අවශ්‍ය ආකාරයට සකසා ගැනීමටත් හෙයාර් ඩ්‍රයර් එක ප්‍රයෝජනවත් වෙනවා.

කොණ්ඩා මෝස්‌තර දැමීමට අමතරව හෙයාර් ඩ්‍රයර් එකකින් මේකප් සීල් කර ගැනීමත් සිදුකරන්න පුළුවන්.

curtesy : beautysaloon.lk



More News »