Home / කේෂාලංකාර / රෝගී හිසකෙස් නිරෝගීමත් කරන නවතම සත්කාරයක්

රෝගී හිසකෙස් නිරෝගීමත් කරන නවතම සත්කාරයක්

2018-05-08 01:13:00       410
feature-top
හිසකෙස් හැඩගන්වන්නට අනුගමනය කරන යම් යම් ක්‍රියාකලාපයන් නිසා අද බොහෝ විට දක්නට ලැබෙන්නේ හිසකෙස් රෝගී වී තිබෙන ආකාරයයි. බොහෝ විට තමන්ගේ කෙස් කළඹට හානි සිදුකරගන්නේ තමන් විසින්මයි.
 
ඒ වැඩි දෙනෙක් හිසකෙස් විලාසිතාවන් කිරීමට දක්වන උනන්දුව එහි නිරෝගිමත් බව රැකගැනීම කෙරෙහි නොදැක්වීමයි. රෝගී වූ හිසකෙස් පවතියි නම් කෙතරම් හිසකෙස් විලාසිතා කළත් කලකදී හිසකෙස්වලට හානි සිදුවීමෙන් එහි ශක්තිමත් බව ලස්සන පෙනුම නැතිවී යාමක් සිදුවිය හැකියි.

ඒ ආකාරයෙන් රෝගී වූ හිසකෙස් නිරෝගීමත්කර එහි ශක්තිමත් බව පවත්වා දිය හැකි සුවිශේෂී ප්‍රතිකර්මයක් තිබෙනවා. මෙය නවතම තාක්ෂණික උපකරණයක් යොදාගනිමින් හිසකෙස් සඳහා සිදුකරන විශේෂ ප්‍රතිකර්මයක්. මෙම ප්‍රතිකර්මය විශේෂ වන්නේ රසායනික ද්‍රව්‍ය නිසා හානිවූ හිසකෙස්වලට සහ හිස්කබලේ වියළිබව නිසා සත්කාර සිදුනොකිරීම නිසා දුර්වල වූ හිසකෙස් සඳහායි. එමෙන්ම හිසකෙස් ගැලවී යාම, කෙස් අග පැළීම, වියළීම, දුර්වර්ණවීම වැනි ගැටලුකාරී තත්ත්වයන්ට පත්ව ඇති හිසකෙස්වලට ද මෙය වඩාත් සුදුසු සත්කාරයක් වනවා.

මෙම විශේෂිත උපකරණය භාවිතයේ දී හිස්කබලේ ඇති මැරුණු සෛල ඉවත්වී එහි රුධිර ගමනාගමනය වඩාත් හොඳින් ක්‍රියාකාරී වී හිසේ සම මතුපිට රැඳී ඇති බැක්ටීරියා ඉවත් වීමෙන් නිරෝගිමත් බවක් ඇතිකරනවා. මෙම උපකරණය නියමිත කාල වේලාවක් තුළදී හිස්කබල සහ හිසකෙස් මත ක්‍රියාත්මක කරවීමෙන් පසුව ඊළඟ පියවරේදී සිදුකරනු ලබන්නේ හොට් ඔයිල් ස්කැලප් මසාජ් එකයි.

මෙහිදී හිස්කබල මතුපිට ටිකින් ටික තෙල් තවරමින් හොඳින් සම්බාහනය කිරීම කළයුතුයි. මෙම සම්බාහනය විනාඩි විස්සක පමණ කාලයක් කිරීම අවශ්‍යයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් හිස ගැල්වූ තෙල් හොඳින් හිස්කබලට උරාගැනීමෙන් සහ එහි රුධිර ගමනය මනාව ක්‍රියාකාරී වීම තුළින් හිසකෙස්වල නිරෝගීමත් ස්වභාවයත්, ශක්තිමත් බවත් ඇතිකරවන්නේ හිසකෙස් වර්ධනයට රුකුලක් ලබාදෙමින්. සැබැවින්ම මෙය පැළයක් වැඩෙන්නට පෝර දමනවා හා සමාන වූ සත්කාරයක්.

හිසකෙස් සඳහා තෙල් යෙදීමට වැඩි දෙනෙක් උනන්දුවක් දක්වන්නේ නෑ. නමුත් හිසට තෙල් යෙදීම එහි නිරෝගිමත් ස්වභාවයට අත්‍යවශ්‍ය දෙයක්. මෙහිදී හිසට තෙල් ස්වල්පයක් පමණක් දැමීම ප්‍රමාණවත් නොවන බවද කිවයුතුයි. එම නිසායි තෙල් යොදා ගනිමින් කරනු ලබන හිස සම්බාහනය විශේෂවන්නේ.

අප ඉහත කී උපකරණයෙන් හිස්කබලේ මැරුණු සෛල සහ බැක්ටීරියා ඉවත්කිරීම සිදුකළ පසු කරනු ලබන තෙල් සත්කාරය හා සම්බාහනය මඟින්, හිසකෙස් පෝෂණය වෙමින්, ප්‍රාණවත් වෙමින් හිසකෙස් නිරෝගිමත්ව වර්ධනය වීමට අවශ්‍ය පසුබිම සූදානම් වීමක් සිදුවනවා.

සම්බාහනයෙන් පසු ස්ටීම් කිරීමක් සිදුකළ යුතුයි. එසේ කිරීමෙන් අප මුලින් කළ ප්‍රතිකර්මය වඩාත් හොඳින් ක්‍රියාකාරී වී හිසකෙස්වල රෝගී ස්වභාවය ඉවත් කිරීම නිසා හිසකෙස් ආශි‍්‍රතව පැවැති ගැටලු බොහෝමයක් ම සඳහා ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබාදෙනවා.

හානිවූ හිසකෙස් සඳහා ප්‍රතිකර්ම සත්කාර සිදුකිරීමේදී එය වරක් හෝ දෙවරක් පමණක් කර අත්හැර දැමීමෙන් ඉන් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබාගැනීමට හැකිවන්නේ නෑ. එම නිසා සතියකට වරක් බැගින් අවම වශයෙන් සති දොළහක්වත් මෙම ප්‍රතිකර්මය අනුගමනය කළයුතුයි.

හිසකෙස්වල නිරෝගිමත් පැවැත්මට හේතුවන අනෙක් කරුණ නම් හිසකෙස් නිතර පිරිසුදුව තබාගැනීමයි. දවසක් හැර දවසක්වත් හිසකෙස් සේදීම කළ යුතුයි. නමුත් කාන්තාවන් වැඩි දෙනෙක් රැකියාවට යාම නිසා කාල වේලාවක් නොමැති බව පවසමින් නිතර හිසකෙස් සේදීමක් කරන්නේ නෑ. එය සුදුසු දෙයක් නොවෙයි.

හිසකෙස් අපිරිසුදු වී තිබියදී එයට ප්‍රතිකාර සත්කාර කිරීම ප්‍රතිඵලදායක වන්නේ නෑ. උදෑසන ස්නානය කර යාමෙන් හිසකෙස් වේලා ගැනීමට නොහැකි වේය යන හැඟීම නිසා හිසසේදීම නොකරන අයත් සිටිනවා. එසේ නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම සුදුසු වන්නේ නෑ. අනිවාර්යයෙන්ම දවසක් හැර දවසක් ෂැම්පුකර හිස සෝදා හිසකෙස් අගිස් දක්වා කන්ඩිෂනර් දමා සෝදා හරින්න.

හිසකෙස්වල අනවශ්‍ය ලෙස ගැටලු ඇතිවීම වළක්වාලන්නට නම්, කෙස් කළඹේ නිරෝගිමත් බව ලස්සන පෙනුම රඳවා ගන්නට අවශ්‍ය නම් ඔබ ඔබේ මුහුණට දක්වන සැලකිල්ල ඔබේ හිසකෙස් සඳහා ද දැක්විය යුතු බව අමතක කරන්නට එපා.

curtesy : www.tharunie.lk


More News »