Home / කේෂාලංකාර / හිසකෙස් හැලෙන්නට බලපාන හේතු

හිසකෙස් හැලෙන්නට බලපාන හේතු

2018-11-28 01:25:00       604
feature-top
කෙස් ගසකට වර්ධන ශක්තියෙන් යුතු කාලයක් තිබේ. එම කාල පරාසය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නකි. ඒ ආකාරයට කෙස් ගසක වර්ධන අවදියට පසුව සති දෙකක් පමණ එහි වර්ධනය නතරව පවතින කාලයක් වේ. ෙසෙල විභජනය නතරවී ගතවන මෙම විශේෂිත කාලයට පසුව එළඹෙන්නේ තුන් මාසයක් වූ විවේක කාලයකි. ඉන්පසුව තිබුණ කෙස් ගස වැටී අලුතින් කෙස් ගසක් මෝදු වීම ආරම්භ වේ.
ඕනෑම පුද්ගලයෙකුගේ දිනකට කෙස්ගස් පනහත් සීයත් අතර ප්‍රමාණයක් හැලී යෑම කලබලවිය යුතු නොවන සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් ඊටත් වඩා අසාමාන්‍ය ආකාරයට හිසකෙස් ගැලවී යනවා නම් සහ කෙස් ගසේ ඝණකම ටිකෙන්ටික අඩුවීගෙන යන බවක් දැනෙනවා නම් එය අවධානය යොමු කළ යුතු තත්ත්වයකි.
හිසකෙස් හැලෙන්නට හේතුව විටමින් අඩුකම යැයි බොහෝ අය සිතති. එහෙත් විටමින් අඩුකම යනු හිසකෙස් හැලෙන්නට බලපාන එක් හේතුවක් පමණි. යකඩ ඌනතාවය නිසාද හිසකෙස් වැඩිපුර ගැලවී යන අවස්ථා තිබේ. ඊට අමතරව හිසකෙස් ගැලවී යන්නට බලපාන වෙනත් හේතු කිහිපයකි.

* තයිරොක්සින් අඩුකම හා හෝමෝන ආශ්‍රිත රෝග
* ඩිම්බ කෝෂ ආශ්‍රිත රෝග තත්ත්වයන්
* පිළිකා සඳහා දෙන ඖෂධ උපත්පාලන පෙති ආදී සමහර ඖෂධවල බලපෑමෙන්
* ඩෙංගු වැනි රෝගයක් වැළඳී මාස තුනකට පසුව සැත්කමක් සිදුකර හෝ දරු ප්‍රසූතියකට මාස තුනකට පසුව
* ජානමය බලපෑමෙන්ද තවත් සමහර පුද්ගලයින්ගේ හිසකෙස් හැලී යෑම සිදුවිය හැකිය.
මේ ආකාරයට අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යන්නට විවිධ වූ හේතු බලපෑ හැකි නිසා ඊට බලපාන නිශ්චිත හේතුව හඳුනාගෙන ප්‍රතිකාර කිරීම අවශ්‍යවේ.

ක්‍රමක්‍රමයෙන් හිසකෙස් තුනී වී ගොස් තට්ටය පෑදීම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම බලපාන හිසකෙස් සම්බන්ධ ගැටලුවකි. දැඩි මානසික පීඩාවක් බවට පත්වන හිසකෙස් සම්බන්ධ මෙවැනි ගැටලු සඳහා සාර්ථක ප්‍රතිකාර ඇති බව බොහෝ අය නොදන්නවා විය හැකිය. හිසකෙස් තුනී වීමටත් හැලීයාමටත් බලපාන හේතු හඳුනාගෙන සිදුකරන ප්‍රතිකාර මගින් නැවත හිසකෙස් වර්ධනය කරගන්නට හැකියාව ලැබේ.
හිස ගල්වන ආ‍ලේපන හිසකෙස් වලට සිදුකරන නොයෙක් සත්කාරවල බලපෑමෙන්ද ස්වභාවික හිසකෙස් වෙනස්වීමකට ලක්වී කෙස් ගසේ ඝණකම අඩුවන අවස්ථා තිබේ. ඊට අමතරව ශරීර අභ්‍යන්තරික හේතු නිසාද හිසකෙස් තුනීවීම සිදුවිය හැකිය.

තට්ටය පෑදීම ජානමය බලපෑමෙන් සිදුවන විටදී සාන්ද්‍රගත රුධිර පට්ටිකා එන්නත් කිරීම සාර්ථක ප්‍රතිකාර ක්‍රමයකි. හිසකෙස් හැලී යෑමට බලපාන හේතුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසා සිදුකළ යුතු ප්‍රතිකාරද වෙනස් වන බව දැන් ඔබට පැහැදිලි ඇති. එසේ නම් ඔබ දන්නා අයෙකුට සාර්ථක වූ ප්‍රතිකාරයක් ඔබ හිතුමතේ භාවිතා කිරීම කොතෙක් දුරට සාර්ථකදැයි ඔබටම අවබෝධ විය යුතුය.

උත්පලා සුභාෂිනී ජයසේකර
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ අවධාරණය කරයි

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »